Friday, May 6, 2011

අසැබි චිත්‍රපට අලෙවි කළ දෙදෙනෙක් කොටුවෙයි


අසභ්‍ය චිත්‍රපට ඇතුළත් සංයුක්ත තැටි අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් වීඩියෝසැල් දෙකක් පවත්වාගෙන යමින් අදාළ සංයුක්ත තැටි අලෙවි කරමින් සිට ඇති බවට සැකකෙරෙන බව පොලිසිය පවසයි.

විජයපුර සහ පුබුදුපුර ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මොවුන් සතුව තිබී අසභ්‍ය චිත්‍රපට ඇතුළත් සංයුක්ත තැටි 116 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

බින් ලාඩ්න් පකිස්ථානයේදී ඝාතනයට ලක්වීම ආරක්ෂක අංශවල දුර්වලතාවක් නොවේ


ඔසාමා බින් ලාඩ්න් පකිස්ථානයේ රැදී සිටියදී අමෙරිකානු හමුදා අතින් ඝාතනයට ලක්වීම පාකිස්ථාන ආරක්ෂක අංශවල දුර්වලතාවක් නොවන බව එරට ජනාධිපති අසීෆ් අලි සර්දාරි අවධාරණය කරයි.

පකිස්ථානය ත්‍රස්තවාදයට එරෙහි රටක් බව ඔහු පෙන්වාදෙයි.

ත්‍රස්තවාදයේ ප්‍රබලම ගොදුර වන්නට ඇත්තේ පාකිස්ථානය බව”වොෂින්ටන් පෝස්ට්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පකිස්ථානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඔසාමා බින් ලාඩ්න් පකිස්ථානයේ රැදී සිටියදී ඝාතනයට ලක්වීම මගින් ලාඩ්න්ට පකිස්ථානයේ කිසියම් සහයක් ලැබෙන්නට ඇති බවට ඇතැම් අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.

අදාළ මෙහෙයුම් සඳහා පකිස්ථානු ආරක්ෂක අංශ සහභාගී කරගැනීමට ද අමෙරිකාව කටයුතු කර තිබුණේ නැත.

කෙසේවෙතත් තම රට ත්‍රස්තවාදයට එරෙහිව සැමදා සටන් කළ බව අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පකිස්ථානු ජනාධිපතිවරයා පවසයි.

විභාග වර්ජනය කළ රජරට සිසුන්ට විශේෂ උපාධි බෑ


සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගිය දා විභාග වර්ජනය කළ රජරට විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා මානව ශාස්‌ත්‍ර පීඨයේ සිසුන් 320 කට විශේෂවේදී උපාධිය හැදැරීමේ අවස්‌ථාව අහිමි වී ඇත.

විභාග වර්ජනය කර දින කිහිපයකට පසුව යළි විභාගයට පෙනී සිට ඇති මෙම සිසුන්ට වර්ජනයේ යෙදී සිටි දින කිහිපයේ පැවැති විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර යළි ලබාදීම පරිපාලන අංශ ප්‍රතික්‍ෂේප කර තිබේ.

විභාග වර්ජනයෙන් මෙම සිසුන් ඉවත් වී ඇත්තේද පෙනී සිටීමට නොහැකි වූ ප්‍රශ්න පත්‍ර යළි ලබා දෙනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් වුවද පරිපාලන අංශ ඒ සඳහා ඉඩ නුදුන් නමුත් තමන්ට විශේෂවේදී උපාධියට පෙනී සිටීමට අවස්‌ථාව ලබා දෙන්නැයි මෙම ශිෂ්‍ය පිරිස මාස හයක සිටම කරන ඉල්ලීමට පරිපාලන අංශ එකඟතාව පළ කර නැත. මෙම තත්ත්වය නිසා සිංහල, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, පරිසර කළමනාකරණය යන විෂයයන් සඳහා විශේෂවේදී උපාධිධාරීන් 2008/2009 වසරට අදාළව බිහි නොවන බවද ප්‍රමාණවත් දේශනශාලා නොමැති වීම නිසා තෙවැනි වසර සාමාන්‍යවේදී උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම අධ්‍යයන කටයුතු සඳහා ගැටලුවක්‌ වන බවද සිසුහු පවසති.
ඒ කෙසේ වුවද සිසුන් ඉල්ලා සිටින්නේ විශේෂවේදී උපාධිය හැදැරීම සඳහා අවස්‌ථාව ලබා දෙන ලෙසය.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතා පවසනුයේ, වර්ජනයේ යෙදී සිටි දින කිහිපයේ අතපසු වූ ප්‍රශ්න පත්‍ර යළි ලබා නොදීමට සනාතන සභාව ගෙන ඇති තීරණය වෙනස්‌ නොකරන බවයි.

හොර ලියවිලි වලින් පුද්ගලයින් රට යවලා -මීගමුවේදී කොටුවෙයි


ව්‍යාජ ලේඛන සකස් කර පුද්ගලයින් විදේශ රටවල යැවීමේ ජාවාරමක නිරත වුණු පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(06) දහවල් මෙම සැකකරු මීගමුව ප්‍රදේශයේ දී එම කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔහු සතුව තිබු ව්‍යාජ ලෙස සකස් කරන ලද විදේශ ගමන්බලපත්‍ර, ව්‍යාජ වීසා පත් සහ විදේශ‍ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන මුද්දර තොගයක් ද සොයාගෙන ඇත.

මුදල් ලබාගෙන ජෝර්දානය වැනි රටවලට මොහු විසින් පුද්ගලයින් යවා ඇති බව වාර්තා වේ.

මීගමුව සහ කොළඹ ප්‍රදේ‍ශයේ ස්ථාන කිහිපයක රහසිගතව මෙම ජාවාරම සිදුකරන බවට ලැබුණු තොරතුරු අනුව වැටලීම සිදුකළ බව සඳහන්ය.

වාකරේ කැලෑවකින් අවි තොගයක් මතු වෙයි


වාකරේ තට්ටමුණේ කලපුව ආසන්නයේ කැලෑ ප‍්‍රදේශයක වලලා තිබුණු අවි ආයුධ තොගයක් වාකරේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

මෙම අවි ආයුධ අතර කිලෝ 10ක් බරැති බෝම්බයක්, කිලෝ 30ක් බරැති මෝටාර් බෝම්බයක්, කිලෝ 05ක් බරැති මෝටාර් බෝම්බයක්, ජීව අත්බෝම්බයක්, පීඩන බෝම්බයක්, පීඩන බෝම්බ පියුස් දෙකක් සහ සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 200ක් අයත්ව තිබූ බව ද පැවසේ.

මෙම අවි ආයුධ තොගය සම්බන්ධයෙන් වාකරේ පොලිසිය වැඩිදුර පරක්‍ෂණ පවත්වන බව වාර්තා වේ.

ඔසාමාගේ තවත් ප‍්‍රහාරයක සැලසුමක තතු හෙළිවේ


අල්කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න් අමරිකාවට එරෙහිව තවත් දැවැන්ත ප‍්‍රහාරයක් සැලසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය කියා සිටී.

මීට සම්බන්ධ සැලසුම් ඇතුළත් ලේඛන රැසක් අල්කයිඩා නායකයා ඝාතනයට ලක්වූ ස්ථානයේ තිබී සොයා ගෙන ඇති බව එහි දක්වා තිබේ.

සැලසුමට සම්බන්ධ තොරතුරු සහිත ඞී.වී.ඞී. තැටියක්ද හමුවූ බව එහි සඳහන් වේ.

නිවුයෝක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල කළ ප‍්‍රහාරයට සමාන අයුරින් මෙම ප‍්‍රහාරය සැලැසුම් කර තිබූ බවද පැවසේ.

ලබන සැප්තැම්බර් මස 11 වනදා පැවැත්වීමට නියමිත සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ දසවන සැමරුමට සමගාමීව මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කිරීමට නියමිතව තිබූ බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

තම නායකයාගේ මරණය අල් කයිඩා පිළිගනී


තම නායක ඔසාමා බින් ලාඩන් මියගිය බව අල් කයිඩා සංවිධානය පිළිගෙන තිබේ.

බින් ලාඩන්ගේ මරණය සම්බන්ධයෙන් එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ බව කියන නිවේදනයක් ජිහාඞ් වෙබ් අඩවියක පළකොට ඇත.

ඔහුගේ ලේ වැගිරීම නාස්තියක් වීමට ඉඩ නොතබන බවත්, ඇමෙරිකාවට හා එරටෙහි මිත‍්‍ර රටවලට තවදුරටත් ප‍්‍රහාර එල්ල කරන බවටත් එම නිවේදනයේ දැක්වේ.

තම නායකයා ඝාතනය කිරීම එම රටවලට සාපයක් වනු ඇතැයි ද, ඊට එරෙහිව පකිස්තානයේදී නැඟී සිටීමක් සිදුවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මැයි 02 වැනිදා ඇමෙරිකානු කොමාන්ඩෝ භටයින් පකිස්තානයේ ඇබොටාබාද් නගරයේ මන්දිරයක් ඉලක්ක කොටගෙන සිදුකල මෙහෙයුමකදී බින් ලාඩන් ඝාතනය කෙරිණ.