Tuesday, May 10, 2011

හොර කොන්දොස්තර දුමින්ද සිල්වා අනිද්දා තෙක් රිමාන්ඞ්


ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ සිට බිබිල දක්වා ගමන් ගන්නා බස් රථයකට ගොඩවී ව්‍යාජ ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කරමින් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙකු මැයි 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (09) නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ බලංගොඩ ඌවතැන්නේ පදිංචි කරුවෙකු වන දේවගේ දුමින්ද සිල්වා නැමැති අයෙකි.

ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප‍්‍රවේශපත‍්‍ර පොතක් සොරකම් කිරීම, අන් අයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කිරීම යන චෝදනා යටතේ මොහුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

අදාළ සැකකරු එක් මගියෙකුට ප‍්‍රවේශ පතක් නිකුත්කර ඇත්තේ රුපියල් 210 කට බවත්, ඔහු අත්අඩංගුවටපත් වූ අවස්ථාවේදී ඔහු ළඟ තිබී හෙරොයින් මිලි ග‍්‍රෑම් 10ක් ද සොයාගත් බවත් කොටුව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

හෙරොයින් චෝදනාව සම්බන්ධයෙන් සැකකරු ඉදිරි දිනයකදී මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද කොටුව පොලිසිය අධිකරණයට දැන්වීය.

කෙසේවුවද සැකකරු ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප‍්‍රවේශපත‍්‍ර පොත සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ යුතු බවද කොටුව පොලිසිය අධිකරණයට දැන්වීය.

No comments:

Post a Comment