Thursday, May 5, 2011

කිරිදරුවට වස පොවා මරා දැමූ මව් අත්අඩංගුවට


දින 31 ක්‌ වයසැති සිඟිති දරුවෙකුට වස පොවා ඝාතනය කළ සිද්ධියක් චාවකච්චේරිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මේ සිගිත්තාට වස පොවා ඇති බව කියන මව චාවකච්චේරි පොලිසිය මගින් පෙරේදා (03 ) අත්අඩංගුවට ගෙන ඇත.

කිරි සිරවීමෙන් රෝගී වූ බව කියමින් සැකකාර මව දරුවාව පසුගිය 02 රෝහල්ගත කර ඇති අතර, ඒ වනවිටත් දරුවා මියගොස්‌ සිටි බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

එහෙත්, දරුවාගේ මරණ පරීක්‍ෂණයේදී හෙළිවූයේ දරුවාට වස පොවා මරාදමා ඇති බවයි.

සැකකාර කාන්තාව තම සැමියා සමඟ ආරවුලක්‌ ඇති කර ගෙන පසුව මෙම දරුවාට වස පොවා මරා දමා ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මේ පිළිබද සැකකාර මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් දරුවාට වස පොවා මරා දැමූ බවයි.

පරීක්‍ෂණවලින් හෙළි වූ අන්දමට සැකකාර කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පෙරදී විදේශ රැකියාවක්‌ සඳහා ගොස්‌ ඇති අතර, සැමියා විදේශ රැකියාවට ගිය අතර මෙම කාන්තාව අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. මීට මාස කීපයකට පෙරදී සැමියා ශ්‍රී ලංකාවට එද්දී බිරිඳ ගැබිනියකව සිට ඇත.

මේ පිළිබදව දෙදෙනා අතර ආරවුලක්‌ හටගෙන ඇති අතර, සැමියා බිරිඳ අතහැර ගොස්‌ ඇත.

මේ අතර මීට මාසයකට පමණ පෙරදී බිරිඳට පිරිමි දරුවකු ලැබී ඇති අතර, ඇය එම දරුවාද සමඟ චාවකච්චේරි නිවසේ පදිංචි වී ඇත.

තම සැමියා අතහැර ගියේ මෙම දරුවා නිසා බව සිතා කෝපයට පත් වූ මව ඉකුත් 2 වැනිදා දහවල් එම දරුවාට වස පොවා ඇත.

සැකකර මව දරුවාට පෙවීමට ගෙනා වස කුප්පිය සහ එම වස පෙවීමට යොදාගත් උපකරණයද නිවසේ තිබී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරී අබේසිංහ බණ්‌ඩාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත චාවකච්ෙච්රි පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. මහින්ද සහ ජයරත්න ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment