Friday, May 6, 2011

විභාග වර්ජනය කළ රජරට සිසුන්ට විශේෂ උපාධි බෑ


සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගිය දා විභාග වර්ජනය කළ රජරට විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා මානව ශාස්‌ත්‍ර පීඨයේ සිසුන් 320 කට විශේෂවේදී උපාධිය හැදැරීමේ අවස්‌ථාව අහිමි වී ඇත.

විභාග වර්ජනය කර දින කිහිපයකට පසුව යළි විභාගයට පෙනී සිට ඇති මෙම සිසුන්ට වර්ජනයේ යෙදී සිටි දින කිහිපයේ පැවැති විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර යළි ලබාදීම පරිපාලන අංශ ප්‍රතික්‍ෂේප කර තිබේ.

විභාග වර්ජනයෙන් මෙම සිසුන් ඉවත් වී ඇත්තේද පෙනී සිටීමට නොහැකි වූ ප්‍රශ්න පත්‍ර යළි ලබා දෙනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් වුවද පරිපාලන අංශ ඒ සඳහා ඉඩ නුදුන් නමුත් තමන්ට විශේෂවේදී උපාධියට පෙනී සිටීමට අවස්‌ථාව ලබා දෙන්නැයි මෙම ශිෂ්‍ය පිරිස මාස හයක සිටම කරන ඉල්ලීමට පරිපාලන අංශ එකඟතාව පළ කර නැත. මෙම තත්ත්වය නිසා සිංහල, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, පරිසර කළමනාකරණය යන විෂයයන් සඳහා විශේෂවේදී උපාධිධාරීන් 2008/2009 වසරට අදාළව බිහි නොවන බවද ප්‍රමාණවත් දේශනශාලා නොමැති වීම නිසා තෙවැනි වසර සාමාන්‍යවේදී උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම අධ්‍යයන කටයුතු සඳහා ගැටලුවක්‌ වන බවද සිසුහු පවසති.
ඒ කෙසේ වුවද සිසුන් ඉල්ලා සිටින්නේ විශේෂවේදී උපාධිය හැදැරීම සඳහා අවස්‌ථාව ලබා දෙන ලෙසය.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතා පවසනුයේ, වර්ජනයේ යෙදී සිටි දින කිහිපයේ අතපසු වූ ප්‍රශ්න පත්‍ර යළි ලබා නොදීමට සනාතන සභාව ගෙන ඇති තීරණය වෙනස්‌ නොකරන බවයි.

No comments:

Post a Comment