Friday, May 6, 2011

හාදු ලබමින් සල්මන් වාර්තා පොතට යයි



මේ වනවිට 45 වන වියද ඉක්මවා සිටින මැදිවියේ පුද්ගලයෙකු වුවද තවමත් ලොව පුරා සිටින තරුණියන්ගේ හදවත් සොරාගැනීමට සමත්ව සිටින සුපිරි නළු සල්මන් ඛාන් නිතර පුවත් මවන චරිතයක් බවට සිටියි‍. ඔහුගේ ආන්දෝලනාත්මක පෙම් පුවත් ඊට විශේෂයෙන් හේතු වී තිබේ. සංගීතා බිජ්ලානි, ඓයිෂ්වර්යා රායි සහ කට්රිනා කයිෆ් වැනි බොලිවුඩ් රංගන ශිල්පිණියක් කිහිපදෙනෙකු සමගම සල්මන් ප්‍රේමයෙන් බැඳුණද එම සියලු පෙම් කතා සබඳතාවයන්ට පමණක් සීමාවිය. ඔහුගේ අවසන් පෙම්වතිය වූ කට්රිනා කයිෆ් සමග පැවති වසර 08 පමණ පෙම් සබඳතාවය බිඳවැටීමෙන් පසුව සල්මන් ඛාන් තවමත් ගතකරන්නේ තනිකඩ දිවියකි.



සල්මන්ගේ පෞද්ගලික ජීවිතය මෙසේ විවිධ හැලහැප්පීම් මත ගතවුවද වෘත්තීය වශයෙන් ඔහු අති සාර්ථක මට්ටමට ළඟා වූ රංගන ශිල්පියෙකි. මෑතකාලීනව ඔහු රංගනයෙන් දායක වූ “වෝන්ටඩ්” හා “දබාන්ග්” යන චිත්‍රපට ආදායම් වාර්තා බිඳදමමින් තිරගත විය. ප්‍රභූ දේවා විසින් අධ්‍යක්ෂණය කරන ලද බොනී කපූර් විසින් නිෂ්පාදනය කරන ලද 2009 වසරේ තිරගත වූ “වෝන්ටඩ්” චිත්‍රපටය “පෝක්කිරි” නම් ද්‍රවිඩ චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටය ලොව පුරා තිරගතවීම ඇරඹී පළමු සතිය තුළ ඉන්දීය රුපියල් කෝටි 38 ක දළ ආදායමක් ලබාගැනීමට සමත්විය. 2010 වසරේදී තිරගත වූ අබිනව් සිං කශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කරන ලද”දබාන්ග්” චිත්‍රපටය තිරගත වූ පළමු දිනය තුළ වැඩිම ආදායමක් ඉපයූ බොලිවුඩ් චිත්‍රපටය, පළමු සති අන්තය තුළ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය, එදාමෙදා තුර වැඩිම ආදායමක් ලැබූ දෙවන බොලිවුඩ් චිත්‍රපටය සහ 2010 වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වැනි වාර්තා පිහිටුවීමට සමත්විය.



ඒ අතරම තවත් අපූරු ලෝක වාර්තාවකට හිමිකම්කීමට පසුගියදා මෙම සුපිරි නළුවාට අවස්ථාව ලැබී තිබේ. එක් මිනිත්තුවක් තුළ ඔහුගේ අතකට හාදු 108 ක් ලබාගනිමින් වැඩිම හාදු ප්‍රමාණයක් ලබාගන්නා ලද පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක්වීමට සල්මන් ඛාන් සමත්ව ඇත. මීට පෙර මෙම ලෝක වාර්තාවේ හිමිකාරිත්වය දරා ඇත්තේ ජපාන ජාතික රංගන ශිල්පියෙකි. ඔහු ලබා තිබූ හාදු ප්‍රමාණය 102 කි. සල්මන් විසින් මෙම අපූරු වාර්තාව පිහිටුවා ඇත්තේ සුපිරි රංගන ශිල්පිණී ප්‍රීති සින්ටා විසින් ඉදිරිපත් කරන “ද ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් -අබ් ඉන්දියා තෝඩේගා” නම් වැඩසටහන අතරතුරදීය.



සල්මන් ඛාන්ට මෙම වාර්තාව පිහිටුවීම සඳහා කුඩා ගැහැණු දරුවන් 25 දෙනෙකු සහයෝගය ලබා දී තිබේ. එම දරුවන් මහත් සතුටින් මෙම අභියෝගය බාරගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලෝක වාර්තාව පිහිටුවීම සඳහා ඔවුන් මහත් වේගයකින් සල්මන් ඛාන්ගේ අත මත හාදු තැබීම ආරම්භ කර ඇති අතර එය මිනිත්තුවක් තුළ හාදු 108 ට සීමා වී තිබේ. මෙම වාර්තාව පිහිටුවීමට පෙර සල්මන් ඛාන් විසින්”දබාන්ග්” චිත්‍රපටයෙහි එන ඔහුටම ආවේණික වූ රංගන ශෙලියක් ඉදිරිපත් කර ඇති බව ද සඳහන්ය. එමෙන්ම රන්බීර් කපූර් රංගනයෙන් දායක වූ “බච්නා ඒ හසීනෝ” චිත්‍රපටයේ තේමා ගීතය සඳහා මෙන්ම සල්මන් විසින්ම රංගනයෙන් දායක වූ “පාට්නර්” චිත්‍රපටයේ ගීතය් සඳහා ද නර්තනයේ යෙදී ඇත.

No comments:

Post a Comment